About Us

වීරකැටිය රාජපක්ෂ මධ්‍ය වීද්‍යාලය

දක්ෂිණ ලංකාවේ අග්‍රගණ්‍ය විදුනැණෙහි නිජබිමක් වන හ/වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය යටත් විජිතවාදි යුගයේ මිෂනාරි අධ්‍යාපනය පෘථුල වෘක්ෂ්‍යක් ලෙස වැඩී ගිය සමයක එනම් විසිවන සියවසයේ සිවුවන දශකයේ මුලාරම්භයේ ඉපිද එදා සිට අද දක්වා ජය කෙහෙළි නංවමින් ඉදිරි ගමනක පියනැගු බැව් නොරහසකි . වීරකැටිය තංගල්ල මහා  මාර්ගයට යාබදව වීරකැටිය ප්‍රසිද්ධ පස්මංහන්දියේ සිට තංගල්ල මාර්ගයේ කිලෝමීටර එකහමාරක් පමණ දුරින් පිහිටි සුවිශාල භූමි භාගයක විරාජමානව වැජඹෙන රදපස මැදි විදුහල එකල ගම් වැසියන් විසින් හඳුන්වනු ලැබුයේ මිරිස්වත්ත ඉස්කෝලය නමිනි.එම නාමය මෙම විදුහලට ආරූඩ වුයේ පාසලේ ආරම්භය ගොවිතැනට සම්බන්ධ ගුරුවරුන්ගේ පුහුණු මධ්‍යස්ථානයක් හා සිංහල මාධ්‍යයෙන් ඇරඹි කෘෂි පුහුණු පාසලක් වු බැව් ගැමි ඉතිහාසයේ සඳහන් වේ .එකල දෙවන ලෝක යුද සමයෙහි ඇතිවු ආහාර හිඟය හේතු කොට ගෙන එවකට කෘෂිකර්ම අමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමා විසින් දියත් කල වගා සංග්‍රාමය හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දිස්ත්‍රික්කය පුරා ඇතිකල ගොවිපලවල් පවත්වාගෙන යාම සඳහා දක්ෂ පුහුණු නිළධාරීන් කණ්ඩායමක් අවශ්‍ය වුයෙන් පිහිටවන ලද ග්‍රාමීය මට්ටමේ පුහුණු කිරීමේ ආයතනයක් ලෙස ආරම්භ කල මෙම කෘෂි පුහුණු පාසල මුලින්ම ගම්බද පාසල් වල කණිෂ්ටය සමත් ශිෂ්‍යයන් 25 දෙනෙකුගෙන් සමන්විත වී තිබුණි . කෘෂිකර්මයට අමතරව වඩුවැඩ හා මේසන් වැඩ පිළිබඳව මෙම පුහුණු ආයතනය තුල පුහුණුව ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසා තිබුණි.
1930 දශකයේ අවසාන භාගයේ බිහිවු මෙම පාසල එකල හුදු පොල්අතු සෙවිලි කල ගොඩනැගිලි කිහිපයකින් යුක්ත විය . කෙසේ වෙතත් පසුකාලීනව පැතිර ගිය මැලේරියා වසංගතය හා උග්‍ර ජල හිඟය හේතුවෙන් වසා දැමු මෙම පාසල් ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගෙන වීරකැටිය අවට ජීවත් වු අහිංසක ගැමියන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා මෙතැන පාසලක් පිහිටුවිය යුතුයැයි යන අදහසින් එකල රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට අසුන නියෝජනය කල අභාවප්‍රාප්ත ඩී.එම් රාජපක්ෂ මැතිතුමා මෙහි ප්‍රාථමික පාසලක් ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුත කරන ලදී. එකී ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් 1940.10.15 වන දින ශිෂ්‍යයන් 33 දෙනෙකු හා ගුරුවරුන් දෙදෙනෙකුගෙන් සැදුම්ලත් ප්‍රාථමික පාසල ආරම්භක විද්‍යාලයාධිපති තැන්පත් ඒ.අමරසිංහ මහතාගේ මුලිකත්වයෙන් ඇරඹිණි .
එතැනනිදු නොනැවතී 1941 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 65 ක් හා ගුරුවරුන් තිදෙනෙකු ලෙසත් 1942 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 82 ක් හා ගුරු භවතුන් 05 දෙනෙකු ලෙසත් වර්ධනයක් අත්පත් කර ගැනීමට මෙකී පාසල් මාතාව වාසනාවන්ත විය.
1940 දශකයේ මුල්භාගය තුල ගැමි දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථාව ලබා දීමේ මහා ව්‍යාපාරයක් අභාවප්‍රාප්ත සී.ඩබ්.ඩබ් කන්නංගර ශ්‍රීමතාණෝ ගෙන ගියහ. එතුමාගේ නිදහස් අධ්‍යාපන පණත අනුව හෝඩියේ සිට විශ්ව විද්‍යාලය තෙක් නොමිලේ අධ්‍යාපනය ලබා දීම මුලික අරමුණක් විය. මෙහිදී අධ්‍යාපනය ලැබීමට සහජ දස්කම් ඇතත් දිළිඳුකම හේතු කරගෙන අධ්‍යාපනයෙන් කොන්වන දක්ෂ සිසුන් ශිෂ්‍යත්ව විභාග ක්‍රමයක් මගින් තෝරා ඔවුන්ට නාගරික උසස් පාසල් වල තිබු අංග පහසුකම් වලින් යුත් පාසල් වර්ගයක් මධ්‍ය විද්‍යාල නමින් ගම්බද ප්‍රදේශ වල ඇතිකල යුතු බව එවකට අධ්‍යාපන ඇමති වු කන්නංගර මැතිතුමාගේ .අදහසයි. මෙහිදී මෙම අදහස අනුමත කල ඩී.එම් රාජපක්ෂ මැතිතුමා ,කන්නංගර මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මෙකී මධ්‍ය විද්‍යාල සංකල්පය තහවුරු කර ගැනීම සඳහා වු සටනට ආධාර දුන්නේය. මෙහි ප්‍රතිඵලය අනුව මධ්‍ය විද්‍යාල ආරම්භ කිරීමේදී එසේ පිහිටවු ප්‍රථම විද්‍යාල පහ අතරින් එක් මධ්‍ය විද්‍යාලයක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට සී.ඩබ්.ඩබ් කන්නංගර ශ්‍රීමතාණෝ ඩී.එම් රාජපක්ෂ මැතිතුමාට පොරොන්දු විය
1945 වර්ෂයේදී දිවයිනේ පස්වන හා දිස්ත්‍රික් ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය ලෙස මෙම විද්‍යාලය පරිවර්තනය කිරීම නිදහස් අධ්‍යාපනයේ පියා වු සී.ඩබ්.ඩබ් කන්නංගර මැතිදුන්ගේ මැදිහත් වීමෙන් සිදුවු අතර 1945.03.29 දින එතුමන් අතින් ප්‍රථම නව නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කර ඇත. එම කාලය තුල 1944.04.28  හම්බන්තොට දිස්ත්‍රික් රාජ්‍ය සභා මන්ත්‍රී ඩී.එම් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාසලේ මුල්ම ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීම හා 1948.02.04 වන දින ප්‍රථම නිදහස් සමරුව පැවැත්වීම වැදගත් අවස්ථාවක් ලෙස පාසලේ ඉතිහාස පිටු අතර ලියවී ඇත.
        තව ද පසුකලෙක අප මධ්‍ය විද්‍යාලයට ඩී.එම් රාජපක්ෂ මැතිතුමාගේ සොහොයුරු ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාගේද , ඩී.එම් රාජපක්ෂ මැතිතුමාගේ පුත් ජෝර්ජ් රාජපක්ෂ , රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය යන නම භාවිත කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරන ලදී. විශේෂයෙන්ම දිවංගත ජෝර්ජ් රාජපක්ෂ මැතිතුමාගේ උදාරතර සිහිනයක් වුයේ කෙදිනක හෝ මෙම පාසල දිවයිනේ ප්‍රධාන ගණයේ පාසලක තත්වයට පමුණුවාලීමය.
        එකී සිහිනය යථාර්ථයක් කරගනිමින් 2019 වර්ෂය වන විට වසර 79 ක සාර්ථක වුත් අභිමානවත් වුත් ගමන් මගක පියනගා ඇති රදපස මැදිවිදුහල් මාතාව එදා මෙදා තුර සුවහසක් විශිෂ්ට දු පුතුන් සිය ඇකයේ පෝෂණය කොට දේශයට දායාද කොට ඇත.එසේම ගෙවුනු කාලය පුරාවට විදුහල්පතිවරුන් බොහොමයක් යටතේ පාසල සුවිශේෂ ජයග්‍රහණ හා සම්පත් රැසක් අත්පත් කරගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක් ලෙස අඛණ්ඩව වැජඹේ